මගේ ජීවිතය...

සිතුවිල්ලක්.....

"ශ්‍රේෂ්ඨ සිත්වල ඇත්තේ අරමුණුය. සෙසු ඒවායේ ඇත්තේ ප්‍රාර්ථනාවන්ය." - වොෂින්ටන් අර්වින්ග්

Monday, January 21, 2013

අපූර්වත්වයේ ගණිතමය නිමැවුම

වසර 40ක කාලයක් පුරා කෙමෙන් කෙමෙන් ප්‍රකටවූ එක් අතකින් ගණිත ගැටපුවකුත්, තවත් අතකින් සිත් ඇදගන්නාසුළු ක්‍රීඩාවක් වූත් රූබික් කියුබය (Rubik Cube) අද ලොව පුරා  බෙහෙවින්ම ජනප්‍රියත්වයට පත්ව තිබේ. කුඩා ඝණක 26කින් සමන්විත මේ අපූර්ව ක්‍රීඩා භාණ්ඩයේ මැද ඇත්තේ අදාල ඝණක චලනය කිරීම උදෙසා වූ කොටසයි. මෙය කවලම් කිරීමෙන් ලැබිය හැකි එකිනෙකට වෙනස් මුහුණත් රටා ගණන 43, 252, 003, 274, 489, 856, 000ක් හෙවත් ක්වින්ටිලියන 43ක් වැනි අති විශාල ප්‍රමාණයකි. මෙම රූබික් කියුබයේ ගැටලුව විසඳිය හැකි අඩුම වාර ගණන ලෙස පිලිගැනෙන්නේ වාර 20ක් වුවත් තවමත් ලෝකයේ කිසිවකුත් වාර 20කින් මෙය විසඳීමට සමත්වී නැත. දැනට පවතින රූබික් කියුබ් ලෝකවාර්තාවනම් තත්පර 7.23ක කාලයකින් චලන 22කින් නැවත සැකසීම වන අතර මෙම වාර්තාවේ හිමිකරුවා වන්නේ ඔස්ට්‍රේලියානු ජාතික ෆෙලික්ස් සෙම්ඩෙග්ස් නැමැත්තායි.

මේ අසමසම නිර්මාණයේ නිමැවුම් කරුවා වන්නේ හංගේරියාවේ බුඩාපෙස්ට් නුවර ගෘහ නිර්මාණ ශිල්පය ඉ‍ගැන්වූ මහාචාර්ය අර්නෝ රූබික් නැමැත්තායි. තම සිසුනට ත්‍රිමාණ ගෘහ නිර්මාණ ආකෘති තැනීම ගැන අධ්‍යාපනය ලබාදීමට අධ්‍යපන උපාංගයක් නිපදවීමට ඔහුට පහළ වූ සිතුවිල්ලක ප්‍රතිඵලක් ලෙස මේ අපූර්ව නිර්මාණය බිහිවූයේ 1973 වසරේදීයි. ඔහු මෙය මුලින්ම නම් කලේ මැජික් කියුබ් වශයෙනි. එවකට පැවති තත්වය මත රට තුල හැරෙන්නට ජාත්‍යන්තරව එතරම්ම ජනප්‍රියත්වයක් අත්කරගැනීමට නොහැකි වුවත් 1980 පමණ වන විට රූබික් කියුබ් යන නාමයෙන් මෙය ලෝක වෙළඳපොළට නිකුත්විය. ඉතා ශීඝ්‍රයෙන් කා අතරත් ජනප්‍රිය වූ මේ රූබික් කියුබ පසුගිය කාලවකවානුව තුල ලොව පුරා විකිණී ගිය ප්‍රමාණය මිලියන 350කි. ලෝක ජනගහනයෙන් සෑම පස්දෙනෙකුගෙන් එක් අයෙකුම තම ජීවිතයේ කවරදාකම හෝ මෙම ගැටලුව විසඳීමට උත්සාහ දරා ඇත.

අද වන විට ලෝකයේ ලෝක රූබික් කියුබ් සංගමය (The World Cube Association)” පවා බිහිවී ඇත. මෙහි ජනප්‍රියතාව කොතෙක්දැයි කියතොත් රූබික් කියුබය ගැන කියවෙන වීඩියෝ 180, 000ක් පමණ යූ ටියුබ් වෙබ් අඩවියේ පවතී. මෙතරම්ම ලෝකයාගේ ජනාදරයට පාත්‍ර වීමටත්, මෙතරම්ම ලෝකයා ඇද බැඳ තබා ගැනීමටත් රූබික් කියුබය සමත්වූයේ අන් කවරක් නිසාවත් නොව එහි ඇති අපූර්වත්වය නිසාමය. එය අද, හෙට පමණක් නොව තවත් වසර දහස් ගණනක් වුවත් සුවහසක් ලෝක වාසීන්ගේ අවධානයට ලක්වෙමින් පවතින අපූරු ගණීතමය ක්‍රීඩාවක් වනු නොඅනුමානය.

මූලාශ්‍රය: - විජය පරිගණක සඟරාව 2013 ජනවාරි කලාපය